Monday, August 13, 2018

එක් සත්‍ය කතාවක් ...


මේක ටිකක් විතර දිග කතාවක්. පුළුවන් තරම් කෙටියෙන් මේක ඔයාට කියන්න මම උත්සහා කරන්නම්. මේ කතාව පටන් ගන්නේ කොහෙන්ද කියන එක මට එදා ඉදන්ම තිබ්බ ප්‍රශ්නයක්. එත් මේක අද ඔයාට මම කියනවා. මොකද මේ කතාවට ඔයාගෙත් සම්බන්ධයක් තියෙනවා කියලා මම දන්න නිසා. ඔයාටත් මේ කතාවේදී මොනවම හරි දෙයක් කරන්න පුළුවන් කියලා මට වැටහෙන නිසා. 


මුලින්ම මගෙන් පටන් ගන්නම්.


මම යදීෂ ජයවර්දන. වෛද්‍ය ශිෂ්‍යයෙක් . 4 දෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සා. හැමෝගෙම ආදරයත් එක්ක නිදහසේ හැදිච්ච කොල්ලෙක්. වයස අවුරුදු 26 යි. ඔය ටික තමයි ඉතින් මම ගැන දැනට කියන්න පුළුවන්.



මේ කතාව මගෙන් පටන් ගත්තට මම මේකේ පුංචි කොටස් කාරයෙක් විතරයි. ප්‍රධාන චරිත එන්නේ ඉස්සරහට. මොකද කස කාරය ඉස්සරහින් ගියාට ප්‍රධාන චරිත එන්නේ පස්සෙනේ.හැබැයි කතාව කියන්නේ මම. මේ කතාවේ පැති තුනක් තියෙනවා. එකක් ඇගේ කතාව , අනික ඔහුගේ කතාව . වැදගත්ම කතාවේදී තමයි මට ඔයාලගේ උදව් ඕන වෙන්නේ.. ඒ තමයි ඇත්ත කතාව.

--------------------------------------------------------------------------------------------

මේ ඇගේ කතාව ... 


ඔයාල ගොඩක් අය ඇයව දන්නවා ඒ නිසා ඇය කවුද කියන එක මම නොකියා ඉන්නම්. එළියෙන් බැලුවම පට්ට සංකීර්ණ චරිතයක්. හැබැයි ඇතුලට ටිකක් එබිලා බැලුවම , නෑ වෙනසක් නෑ ඒ තරමටම සංකීර්ණයි තමයි. ඒ සංකීර්ණත්වයට මම මාර විදියට ආස කළා. එකයි මම මේ කතාව තෝරාගත්තේ ඔයාට කියන්න. ඇය ප්‍රේමවන්තියක් , විශ්වවිද්‍යාලයට එන්න කලින්ම ඇය ප්‍රේමවන්තියක් .. 



ජිවිතේ ආදරේ ගැන මහ ලොකුවට කතා නොකලට ඇය හිත ඇතුලෙන් ආදරේ ගොඩක් බලාපොරොත්තු උන කෙනෙක්..ඇගේ ප්‍රේම කතාව ටිකක් විතර සංකීර්ණයි. ඇයට ඔහුව මුණ ගැහෙන්නේ උසස් පෙළ පන්තියේදී .. ඇය සහ ඔහු එක වයසේ . එත් ඇයට කලින් ඔහු විශ්ව විද්‍යාලයට ඒමේ වරම් හිමිකරගන්නවා. ඇයට ඔහුව ඇත්තටම මුණගැහෙන්නේ එතකොට. මොකද පන්තියේ පේපර්ස් බලපු කොල්ලෝ සෙට් එකේ හිටපු දගකාරම කොල්ල තමයි ඇගේ හිත ගන්නේ. සම්ප්‍රධායික ගැහැණු ගතිය ඇගෙනුත් එලියට පනින්නේ මේ වෙලාවේ තමයි. මුළු පන්තියම විතරක් නෙවෙයි මුළු ටවුන් එකම දැනන් හිටපු ඒ දගකාර කොල්ලා කරපු යෝජනාව ඇය ප්‍රතික්ෂේප කරනවා. මේක සිද්ධ වෙන්නේ පන්තියේ අන්තිම දවසේ සාදය වෙලාවේ. ඇය විසින් ඔහුගේ පෙම්වතිය වීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ අකමැත්තකටත් වඩා කෙල්ලෙක් ගේ තියෙන අර මායම් 64න් එකක් විදියට. 


--------------------------------------------------------------------------------------------

ඇගේ කතාවට මම ආපහු එන්නම් . එත් මම ඊට කලින් අපි යමු මගේ කතාවට. දැන් මම කොහොමද කතාවට ගෑවෙන්නේ ? එහෙම නේද ඔයාට හිතෙන්නේ .. බය වෙන්න එපා හැමදේම හරි විදියට තේරුම් යයි එතකන් කියවගෙන යමු. 


“යදී , මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. මට මේ දේට ඉක්මනට විසදුමක් ඕනා. මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද ? “ 


මට තේරෙන්නේ නෑ බන් , සමහර මිනිස්සුන්ව . උන්ට දෙයක් කියන්නත් ඕනා. උන්ට අපිව විශ්වාස කරන්න පුලුවන්ද බැරිද කියලවත් උන් දන්නේ නෑ. 


සමහරක් වෙලාවට කන පැලෙන්න එකක් ගහලා හා කියපන් බං  , කියලා කියන්නත් හිතුනා. එත් එහෙම කන පැලෙන්න ගැහුවොත් හෙටම මාව ගෙදර යවයි.ඒ වගේ ඩයල් ඉතින් ...


ඔන්න ඔහොම තමයි මගේ ඔලුවට ඇගේ කතාවත් සෙට් වෙන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් අහන ඕනෑම ප්‍රශ්නයකට මට උත්තර තිබුනා. ඒකට ඉතින් අත්දැකීම නම් කියන්න බෑ. මොකද මේ යදී ට එතරම් අත්දැකීම් නොතිබ්බ නිසා. 


එයාට ඕන උනා විශ්වාසවන්ත කෙනෙක් එයාගේ මේ ප්‍රශ්නේ ගැන කියන්න. එයා ඒකට තෝරාගෙන තිබ්බේ මාව. සමහරක් විට ඇයි මාවම තෝරාගත්තේ කියන ප්‍රශ්නේ මට අදටත් තියෙනවා..


--------------------------------------------------------------------------------------------

දැන් අපි යමු ඔහුගේ කතාවට .. 


ඔහු මට මුණගැහෙද්දී හිටියේ ජාතික රෝහලේ දැඩි සත්කාර අංශයේ. ඔහු ජිවිතයෙන් පලා යන්න හදද්දී. ගිය අවුරුද්දේ විශ්වවිද්‍යාලයේ වසරේ විශිෂ්ටතම සිසුවා වෙච්චි ඔහු, මේ අවුරුද්දේ ජීවිතය කියන විභාගෙන් අසමත් වෙලා ජිවිතයෙන් සමුගන්න හදන තැනකදී. 



විශ්ව විද්‍යාලෙදි මට ඔහුව වරක් දෙවරක් මුණ ගැහිලා තිබුනට ඇත්තටම ඔහුත් එක්ක වචන 10-15 කට වඩා නම් හුවමාරු වෙලා තිබුනේ නෑ. ඔහුට මෙහෙම උනේ ඇයි ? .. ජිවිතයම එපා වෙන තරමට මොකක්ද ඔහුට තිබුන ගැටලුව .. 


-------------------------------------------------


අයෙත් සැරයක් මම එතනින් ඔයාව අරන් එනවා .. ඔයාට තව ප්‍රශ්නයක් මොන මගුලකටද මම  ජාතික රෝහලට ගියේ . තමන්ගේ බැජ් එකෙත් නොවෙන තමන්ගේ යාලුවෙකුත් නොවෙන මනුස්සයෙක්ව බලන්න කෙනෙක් යන්නේ ඇයි. කලබල වෙන්න එපා මේ හැමදේටම ඔයාට උත්තරයක් ලැබෙයි. හැබැයි ටිකක් ඉවසන් ඉන්න වෙනවා. මොකද මුලින්ම මම කිව්වා වගේ මේක ටිකක් දිග කතාවක් , ඒ වගේම පටන් ගන්න හැටි වත් නොතේරුන කතාවක්. පුළුවන් තරම් කෙටියෙන් මම කියන්නම්. හැබැයි මේ දේ මම ඔයාට කියපු විත්තිය ඇයට කියන්නේ නෑ කියලා පොරොන්දු වෙනවනම් ... 

පුලුවන්ද පොරොන්දු වෙන්න.

--------------------------------------------------------------------------------------------

ආපහු මම ඔයාව අරන් යනවා ඇගේ කතාව නවත්තපු තැනට. දැන් ඇය ප්‍රේමවන්තියක් , ඔව් ඔහුගේ , මාස 3-4 කට පස්සේ ගණන් උස්සල උස්සල ඇය ඔහුට කැමැත්ත දෙනවා. ඇයත් ඊලග බැජ් එකත් එක්කම විශ්ව විද්‍යාලයට එනවා. 





දැන් ඇය හා ඔහු විශ්ව විද්‍යාලයේ හැම තැනම පෙම්සුව විදිමින් ඇවිදිනවා, ආදර සයුරේ ගිලෙමින් ඉන්නවා කිව්වොත් හරියටම හරි. මේ දෙන්නගේ ආදරේ දිහා තවත් සමහරු ඉරිසියාවෙන් බලන් ඉන්නවා.මේ දෙන්නට ඒ ගැන සත පහක වත් ගානක් තිබ්බේ නෑ. දෙන්න ජිවිතේ ගලා යන්න පැත්තට ගලා යන්නට දීලා බලන් හිටියා. කාලයත් එක්ක ඇය අවසන් වසරට එන දවසත් ලංවෙනවා. ඔහු විශ්ව විද්‍යාලයෙන් සමුගන්නවා. වසරේ විශිෂ්ටතම ශිෂ්‍යයා විදියට. 


ඔහුගේ නික්ම යාමත් එක්ක ඇය තනි වෙනවා. ඇයට මේ පාළුව දරාගන්න බැරි වෙනවා.

--------------------------------------------------------------------------------------------

ඔයාට දැන් හෙම්බත් වෙලා වගේද එහාටයි මෙහාටයි කතාව මාරු වෙලා ගිහින්. ඔයාට කතාව විතරයි එහෙම මාරු වෙලා ගියේ. මට ජිවිතයම මාරු වෙලා වගේ. මේ දේ ඔයාට කියන්නේ මට කියන්න වෙන කෙනෙක් නැති නිසා නෙවෙයි. මේ දේ ඔයා දැනගන්න ඕනා නිසා. අයෙත් මම ජාතික රෝහල පැත්තට යනවා. 


නෑ මේ ජාතික රෝහලට ඔහුව ගෙන්න කලින් දවසක සිද්ධ වෙච්චි දේවල්. මතක තියාගන්න මම මේ ඔබට කියන කිසි දෙයක් ඇය දන්නේ නෑ. මේ කිසිම දෙයක් ඇයට කියන්නේ නෑ කියලා කියවන ඔයත් මට පොරොන්දු වෙන්න ඕනා. මොකද ඊළගට කවුද කියන එක කවුරුවත් නොදන්න නිසා... 


“හෙලෝ මේ පොඩ්ඩක් මම කියන දේ අහනවා , මම හිතලා කරපු දෙයක් නෙවෙයි ඒක . මිනිස්සු අතින් වැරදි වෙන්න බැරිද ? හැමදේටම මගෙන් පලිගන්න එක නවත්තන්න. ප්ලීස් මට මෙච්චර දුක් විදින්න බෑ.එයා මගේ යාලුවෙක් විතරයි  “ 


“ ඔයා කරන හැමදේම අත්වැරදීම් , මම දෙයක් කලොත් ?? , අනේ මේ ගෑනියේ . අදින් පස්සේ අපේ මේ සම්බන්දෙ ඉවරයි . මම යනවා අයෙත් මාව හොයන්නවත් එන්න එපා. තමුසෙගෙ මහ ලොකු යාළුවා එක්කම ඉන්නවා “ 



-------------------------------------------------

ඇයි දැන් ඔයා මම දිහා මේ විදියට බලාගෙන ඉන්නේ . දැන් ඔයත් කියන්නේ මේ හැමදේම මම නිසා කියලද ? ජිවිතේ කිසිම දෙකට ඉක්මන් වෙන්න එපා. එක මේ කතාවට විතරක් නෙවෙයි ඕනෑම දෙයක් සම්බන්දව ඔයා සැලකිය යුතු දෙයක් ...


-------------------------------------------------
ඔහු විශ්වවිද්‍යාලයෙන් සමුගෙන රැකියාවකට ගියාට පස්සේ ඇයට ඔහුව හම්බ වෙන්න ලැබෙන්නේ ඉරිදට විතරයි. එකත් මාසෙකටම දෙපාරක් වගේ. ඒ මදිවට ඇයට වටින් ගොඩින් ආරංචි එන්න පටන් ගන්නවා ඔහුට රැකියා ස්ථානයේ තවත් කෙල්ලෙක් ඉන්නවා කියල. සුපුරුදු කාන්තා ගති ලක්ෂණ ඇයගෙන් ඉස්මතු වෙනවා. ඇය ඔහුට හොදටම බනිනවා.ඇයට නාදුනන දුරකථන ඇමතුම් එනවා. ඒ එක්කම ඔහු ගැන නරක කතා ඇයට මේ ඇමතුම් වලින් දැනගන්න ලැබෙනවා. 


ඔහු මේ හැමදෙයක්ම ඉවසනවා. තමන් වැරද්දක් නොකළ බව කොච්චර ඔප්පු කරන්න ගියත් ඇය ඒ කිසිවක් ගණන් ගන්නේ නෑ. ඔහුට ඔහුගේ ජීවිතයත් එපා වෙනවා. රැකියාවේ ප්‍රශ්නත් මේ වෙද්දී ඔහුගේ ඔලුවට කඩා වැටිලා ඉවරයි. 


ඇයට අලුත් මිතුරෙක් විශ්වවිද්‍යාලයේදී මුණ ගැහෙනවා. එයාට සචින්ත කියල කියමු. නැත්නම් ඔයාට පැටලෙන්න පුළුවන් නිසා. මම දන්නවා ඔයාට කවදාවත් මේ සචින්ත කියන්නේ කවුද කියල නම් හිතාගන්නවත් බැරි වෙයි. සචින්ත හෙමිට ඇගේ ජිවිතයට ලංවෙනවා. විශ්වවිද්‍යාලෙ හැමෝටම මේ දෙන්න කිව්වේ එයාල යාලුවෝ කියලයි. එත් එතන යාළුකමට එහා ගිය දෙයක් තියෙනවා කියල ඕනෑම කෙනෙකුට පෙනුනා. 



ටික ටික දැන් ඇයට අමතක වෙනවා තමන්ගේ පෙම්වතාව. සචින්තගේ මිතුරු ඇසුර ඇයව වෙනම පැත්තකට අරන් ගිහින්. අනික සචින්ත කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ සම්බන්දයෙ අන්තිම හරියේ වගේ ලකුණු පෙනෙන්නට තිබුනේ. හැමතිස්සෙම රණ්ඩු විතරයි.

-------------------------------------------------



අදට මම මෙතනින් නවතින්නම් , දැන් මගේ හිතට පොඩි සහනයක් ආවා මේ දේ හිතේ තියාගෙන හිටියේ බොහොම අමාරුවෙන් .. වැදගත්ම දේ ඇය තවමත් ජීවත් වෙනවා. ඇයට හැමදේම තේරෙනවා. මම කිව්ව කිසිම දෙයක් ඇයට දැනගන්න තියන්න එපා. එහෙම උනොත් මේ කතාව මට මෙහෙම ලියන්න වත් වාතාවරණයක් නැති වෙන්න පුළුවන්. මම ආපහු යනවා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට. සමහරක් විට ඇය එන්නත් පුළුවන්. කෝකටත් ඇය එන්න කලින් මම එතනින් යන්න වෙනවා. ඒ නිසා මම ගිහින් එන්නම්....

--------------------------------------------------------------------------------------------


පසුවදන : මතක තියාගන්න රහස් තියෙන්නේ රකින්න මිසක් එලි කරන්න නෙවෙයි.ඒ වගේමයි සමහර පුංචි කියල අපි අහක දාන දේවල ලොකු තේරුමක් තියෙන්න පුළුවන්. මේ කතාවේ සමහර පුංචි සිද්ධිත් ඒ වගේ.අතෑරලා ගියොත් ආයෙත් මුල ඉදන් කියවන්න වෙයි.  


ඒ වගේමයි මේ කතාව මම ඔයාට කියන වෙලාවෙත් සමහර දේවල් සිද්ධ උනා. ඒවා මට දැන්ම ඔයාට කියන්න අමාරුයි. හැබැයි මම ඔයාට මේ හැමදේම කියනවා. ඉක්මනටම...

3 comments:

  1. මං කැමති මේ ස්ටයිල් එකට.
    ඒත් පොඩි අදහසක් දෙන්නම්.. තව පොඩ්ඩක් එකක් ගැන විස්තර කරා නම් හොඳයි කියලා හිතෙනවා, ආයේ අයේ අනික් කතාවට එක පාර ඉගිල්ලෙන් නැතුව. එකක් ගැන පොඩ්ඩ වෙලාවක් කියවලා කියවන්නව අතරමං කරන්න. ඉන් පස්සේ, කුතුහලයක් තියලා අනික් එකට පනින්න.. එහෙම ලියන්න බලන්න... ( මාත් වීරයා වගේ කිව්වට, ලියන එකේ අමාරුව මං දන්නවා... හේ හේ... ) කොහොම වුනත් ලස්සනයි... මං කැමති, කලින් කතා වගේම.

    ReplyDelete
  2. ඉතුරු කොටහ ඉක්මනින්ම ඕනෙ. දැනටම කී දෙනෙකුට කියලද බොල. මේ කතාව අදයි දැක්කේ. කරුණාකරලා ඉතිරි කොටස ඉක්මනින්ම ලියන්න. අනේ කරුණාකරලා.....

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...