Saturday, November 4, 2017

මිය යන්න සුදානම් ....



ජිවිතේ හරි පුදුමාකාරයි වෙලාවකට ,හිතාගන්නවත් බැරි තරමට සංකීර්ණයි. කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා සංකීර්ණ බව වැඩි වෙච්චි නිසාම. assignments , Submission, mid , quiz, design අස්සේ හුස්ම ගන්නවා කියන එකත් අමතක වෙලා තියෙන්නේ.

අද මට කතා කරන්න හිතුනේ මරණය ගැන. අපි ජිවිතේ ගැන කතා කළා , ආදරේ ගැන කතා කළා , හැබැයි මරණය ගැන අපිට කතා කරන්න බැරි උනා. බැරි උනා නෙවෙයි අපි හරි අකමැති මාතෘකාවක් තමයි මරණය. හැබැයි අපි හැමෝම දන්නවා දවසක මේ හැමදේම අතෑරලා අපිට යන්න වෙනවා කියලා. 


                                ඔන්න ඔතනදි සැනසීමෙන් මැරෙන්න තියෙනවනම් ඒක තමයි ජිවිතයට වටින්නේ. අපි හම්බුකරපු වත්කම වත් , ගත්තු දේපල වත්, ඉගෙන ගත්ත උපාධි වත් එතකොට වැදගත් වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ අපි කරපු හොද දේවල් විතරයි. හොද දේවල් කරන්න සල්ලිම අවශ්‍ය නෑ. එකට ඕනා වෙන්නේ අපේ චේතනාව විතරයි. චේතනාව හොදනම් හොද දේවල් ඉබේටම කරන්න පුළුවන්.
“ජිවිතේ අපි හැමෝටම කාලයක් එනවා ආපහු හැරිලා බලද්දී සතුටු වෙන්න බැරි “ බුද්ධ දර්ශනය අනුවනම් එකට කියන්නේ කර්මය පඩිසන් දෙන කාලය කියලා.ඔන්න ඔය කාලේදී අපිට කරන කිසි දෙයක් හරි නොයන්න පුළුවන්. ඒවා පෙර ආත්මයෙන් අපි ගෙනාපුවත් වෙන්න පුළුවන් . හැබැයි මේ බවයේදී අපිට පුළුවන් හොද දේවල් කරන්න. එතකොට මතු අත්බවයකදී අපිට හොදින් ඉන්න පුළුවන්.
එත් අපි මොන දේ කලත් හිතන්නේ මේ ජිවිතේ සුවය ගැන විතරයි. හම්බකරගන්නෙ මේ ජීවිතේට විතරයි. අපි අතින් කොච්චර නම් පව් වෙනවා ඇත්ද ? අපි කොච්චර හිතාමතා වැරදි කරනවා ඇත්ද ?
මැරෙනවා කියලත් දන්නවනම් ඇයි අපි මෙච්චර මේවා පස්සෙම යන්නේ. මැරෙන මොහොතේදී අපේ හැමදේටම අනුපිළිවෙලක් හැදෙනවා. එතැනදී අපි කරපු පිං වලට වඩා පව් වැඩිනම් අපේ මරණ මොහොත වගේම මතු බවයත් නරක වෙන්න පුළුවන්.
තරුණ කාලේදී පිං කරමු. වයසට ගියාම හැරිලා බලද්දී අඩුම තරමේ සතුටුවෙන්න ඒ වගේ දෙයක් හරි තියෙනවනම් කොච්චර හොදද , ලෝකෙට පේන්න නෙවෙයි හිතට දැනෙන්න පිං කරමු . මාරයා එන වෙලාව අපි දන්නේ නෑ . හැබැයි එන වෙලාවට අපි යන්න සුදානම් නම් අපි මෙලොව පරලොව දෙකම ජය අරගෙන ඉවරයි.
ජිවිතේ කියන්නේ මරණය ගැනම හිතන එක නෙවෙයි. හැබැයි මරණය නෑ කියලා හිතලා වැඩ කරනවට වඩා ජිවිතේ හැමදේම යථාවාදීව දකින්න පුලුවන්නම් මේ පුංචි රට මීට වඩා ගොඩක් සුන්දර වේවි .

Thursday, October 19, 2017

සුබ උපන්දිනයක්



වෙලාව කියන දේ උනත් සාපේක්ෂ දෙයක්. වෙලාවකට හෙමින් යනවා වගේ දැනෙන වෙලාව සමහරක් වෙලාවට අල්ලන්නත් බැරි තරම් වේගෙන් අපෙන් ඈතට යනවා.සරසවියෙන් නික්මෙන්න තව හරියටම සති 8ක් වත් නෑ. ජීවිතේට මහා පුදුම දේවල් ගොඩක් උරුම කරලා දීපු අවුරුදු 4ක් නිමවෙන්න යන්නේ හරි ඉක්මනින්. මම අද කියන්න යන්නේ විශ්ව විද්‍යාල ජීවිතෙන් සමුගැනීම ගැන නෙවෙයි . එකට තව කල් තියෙනවනේ .

අද පුංචි සැමරුමක් තමයි කරන්න යන්නේ. හරියටම අද එහෙම නැත්නම් ඔක්තෝම්බර් 20 වෙනකොට විශ්ව විද්‍යාල ජිවිතේ ඇතුලේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු කියලා විෂය ක්ෂේත්‍රයකට ඇවිල්ලා අවුරුදු 3ක් වෙනවා. උපාධියේ අවුරුදු 4 ඇතුලේ වැඩියෙන්ම අපි හිටපු තැන තමයි අපේ මේ chemical පවුල. ළමයි 80 දෙනෙක් එක්ක එක එක්කෙනාගේ එක එක හීනත් එක්ක එක ගමනක් යන්න පටන් ගත්තට අද වෙද්දී ඒක 79 ක් දක්වා අඩු වෙලා. හිතට දුකයි අපේම සගයෙක්ව අතෑරලා අපිට යන්න වෙච්චි එක ගැන. එත් මොනවා කරන්නද ජිවිතේ කියන්නේ හිතන පතන දේම විතරක් නෙවෙයි නේ.
අවුරුදු 6 කට කිට්ටුවෙන බ්ලොග් ලෝකේ ඇතුලේ මම එක පාරක් වත් chemical එක ගැන ලියලා නැතුව ඇති. හැබැයි ඒ ලියන්න දෙයක් නැතුව නම් නෙවෙයි. ලියන්න දේවල් තොර බේරා ගන්න බැරුව තමයි. 

 chemical එක ගැන කතා කරද්දී හැමතිස්සෙම වගේ හිතට දැනෙන ඒ නිදහස. ඒ කිව්වේ මොරටුව කියන කාන්තාරයක් වගේ පරිසරයක් ඇතුලේ ලස්සනට ගස් කොලන් තියෙන හුස්ම ගන්න පුළුවන් නිදහස් පරිසරය ඇත්තටම chemical එකට මාරම සම්පතක්. මේ අවුරුදු 3 ට මේ chemical එක ඇතුළෙන්ම අපිට පුළුවන් උනා ගොඩක් දේවල් කරන්න. අභියෝග බාරගන්න කැමති කොල්ලෝ ටිකක් වගේම එකටම හරියන කෙල්ලෝ ටිකක් සෙට් වෙච්චි නිසා අපිට පුළුවන් උනා මේ අවුරුදු 3 දී අපේ යුතුකම ඉටු කරන්න. 





 අපි මුලින්ම ආපු ගමන් කලේ අපිට පහල batch එකේ අයව පිළිගන්න වැඩසටහන දෙපාර්තමේන්තුවක් විදියට එකතු වෙලා කරන එක. අනික් දෙපාර්තමේන්තු වගේම අපිත් පුළුවන් විදියට අපේම දෙයක් කළා. හැබැයි එතකොට අපි හම්බෙලා සති 3ක් වත් තිබුනේ නෑ. ඊට පස්සේ mid break එකට කලින් කරන්න බැරි වෙයි කියලා කට්ටිය කියපු පැදුරත් ලස්සනට කළා. හැබැයි chemical එකත් එක්ක වැස්සට තියෙන බැදීම නිසා අන්තිම දවසේ ටිකක් දුක්බර මතකයක් අපි හැමෝටම උරුම උණා. හැබැයි ඒ වැටුණ තැනින් අපි නැගිට්ටා. ඊට පස්සේ ඊලග semester එකේදී dep එකේ ඉන්න සියලුම ලෙවල් වල කට්ටිය එක්ක cricket, netball , football , volleyball tournament එකක් සංවිධානය කරන්නත් අපිට පුළුවන් උණා. හිටපු පොඩිම batch එක විදියට cricket තරගාවලිය දිනන්න ලැබීමත් ඇත්තටම සතුටක් උනා.



ඒ semester එකේම අන්තිමට අපි සමාජ සේවයක් කරන්න ලෑස්ති වෙනවා. අනුරාධපුරේ ඉස්කෝලෙකට පුංචි පුස්තකාලයක් හදලා දෙන ඒ පුංචි සිහිනය අපි යථාර්තයක් කරනවා හැබැයි ඒකට හිතුවට වඩා කල් යනවා. කොහොම හරි ඒ පුංචි හිත් වලට සතුටක් දෙන්න ලැබුන එකනම් ඇත්තටම සතුටක්. නේ
කාලයත් එක්ක ඊළගට අධ්‍යාපන වැඩ වලටත් යොමුවෙන අපේ කට්ටිය 5 වෙනි semester එක වෙද්දී out bound programme එකක් කරනවා දෙපාර්තමේන්තුවේ අධ්‍යයන අනධ්‍යයන සේරමත් එකතු කරගෙන. ඒ වගේම අපි අමතක කරන්නේ නෑ අපේ විශ්ව විද්‍යාලය ලගම තියෙන පුංචි ඉස්කෝලේ. අපිට පුළුවන් වෙනවා IET එකත් එක්ක එකතුවෙලා රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු ශිෂ්‍ය සංගමය විදියට ඒ ළමයින්ටත් 5 වසරට ඕනා කරන ගණිතය , ඉංග්‍රීසි , දෙමළ වගේ දේවල් කියලා දෙන්න.



 කොහොම හරි අපි එකී  මෙකී වැඩත් එක්ක අපේ යන පාරවල් හදාගන්නවා training period එකත් එක්ක. දෙපාර්තමේන්තුවේදී එක සමාන දේවල් ඉගෙන ගත්ත අපි වෙනස් වෙනස් ආයතන වල පුහුණුවට යනවා. සමහරු තෙල් සංස්ථාවේ වැඩට යන අතරේ තවත් සමහරු බහුජාතික සමාගම් වල වැඩට යනවා. අපේ පාරවල් අපි හදාගන්න උත්සාහ කරනවා.







 ඔහොම ඉදල අපි ආපහු එනවා අපේ දෙපාර්තමේන්තුවටම අන්තිම අවුරුද්ද ඉගෙන ගන්න. design , research අතරේ අපි අපිව හොයන්න ගන්නවා. ජාතික රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු සමුළුව රටටම දැනෙන විදියට කරන්නත් ඔය කිව්ව කොල්ලෝ කෙල්ලන්ට පුළුවන් වෙනවා.




ගොඩක් බාහිර වැඩ අපි කරන්න ඇති. ඒ අතරේ අපි ඉගෙන ගන්නත් ඇති. ට්‍රිප් ගොඩාරියක් යන්න ඇති. ජිවිතේ මිනිස්සුන්ව අදුරගන්න ඇති.ඕන තරම් බැන කියාගන්න ඇති.විහිළු තහළු කරන්න ඇති , ඇස් රතු කරගන්න ඇති එත් අපි එක පවුලක් ආදරෙන් බැදුන CHEM13 එකම එක පවුලක්.


තව සති 8 කට වඩා අපිට එකට ඉන්න බැරි වෙයි. එකිනෙකාගේ ජිවිත ගමන් මග වෙනස්. අපි ආපහු හම්බවෙයි. හැබැයි හැමෝම එකම වෙලාවක හම්බවෙන්න පුළුවන් වෙයිද කියන්න දන්නේ නෑ. ඉතින් මේ ලෝකේ හරි පුංචියි. අපි ආපහු මුණ ගැහෙයි , එතකං සුබ උපන්දිනයක් CHEM13.

Wednesday, October 11, 2017

මොරටු සරසවිය පැත්තෙන් ...



මොරටු සරසවිය පැත්තෙන් තවත් අලුත් දෙයක් අහන්නට ලැබුනා. මාස ගාණක විතර උත්සාහයකින් පස්සේ 2017 උසස් පෙළ ලියපු සිසුන්ගේ ඉදන් සියලු දෙනාවම ඉංජිනේරු පීඨයේ පවතින දෙපාර්තමේන්තු සදහා Z Score කියන සාධකය මත පදනම් වෙලා ගන්න තීරණය කරලා තියෙනවාලු. 
මම කියන්නම් දැනට කොහොමද ගන්නේ කියලා මුලින්ම,


සාමන්‍යයෙන් මේ දක්වා මා දාන්න කාල සීමාව තුලදී දෙපාර්තමේන්තු සදහා අරගෙන තිබුනේ විශ්ව විද්‍යාලයට පිවිසියාට පසුව මාස 5  ක් වැනි කෙටි කාලයකදී පවත්වනු ලබන විභාගයක් හරහා විෂයන් 6 කට ( විෂයන් 6 හරහා සියලු දෙපාර්තමේන්තු නියෝජනය වීමක් සිදු නොවේ ) ලබා ගන්න සියලු ලකුණු  ඇසුරෙන් වෙන වෙනම භරිත මධ්‍යන්නයකින් ගණනය කර එහි ඉහලම ලකුණු ලබා ගන්නා පිළිවෙල අනුව තමන් කැමති දෙපාර්තමේන්තුව ඉල්ලීමේ ක්‍රියාවලියයි. මෙහිදී සලකා බලනු ලබන්නේ ලංකාවේ සතර දික් භාගයෙන් පැමිණි සිසු සිසුවියන් ( ඉංග්‍රීසි / සිංහල/ දෙමළ මාධ්‍ය ) එකම භාෂාවක් හරහා මුහුණ දීම තුලින් සාධාරණව දෙපාර්තමේන්තු ලබා දීමයි. නමුත් මේ තුල ඇති ප්‍රධාන ගැටලුව වන්නේ දැනුම මෙන්ම විටක ඊටත් වඩා වැඩි අගයක් භාෂාව යන කාරණයට ලඝු වීමයි. දැනට පවතින මෙම ක්‍රමයේ ප්‍රධාන අවාසිය වන්නේ ලංකාවේ ඉහලම ස්ථාන දිනාගෙන විශ්ව විද්‍යාලයට පැමිණෙන සමහරක් සිසුන්ට ඉහත කී පළමු සමාසික විභාගයෙන් පසුව විශ්ව විද්‍යාලයට ඉක්මනින් හැඩ නොගැසීමේ පල විපාකයට මුහුණපා තමන් අකමැති දෙපාර්තමේන්තුවකට පිවිසීමට ( මෙය පුද්ගල බද්ධ සාධකයක් පමණක් වන අතර රැල්ලට යාමක්ද දක්නට ඇත) සිදු වීමයි.  වසර ගණනක් පසු පසට හැරී බලන විට ඔවැනි හේතු මත තම උපාධිය අතහැර ගිය සිසුන් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකි.

එසේ නම් කල යුත්තේ කුමක් ද ?

විසදුම් කීපයක් පෙනෙන්නට තිබේ. එකක් නම් අනෙක් සියලුම රාජ්‍ය ඉංජිනේරු පීඨ වල සිදුවන අයුරෙන් වසරක කාලයක් සමාන විෂයන් සියල්ලන්ටම ලබා දී ඒ අවසානයේ ලබා ගන්නා ලකුණු මත පිළිවෙල ස්ථාන ගත කිරීමයි. ඒ විට භාෂා දැනුම වුවද අවශ්‍ය ප්‍රමාණයට සාදා ගැනීමට විද්‍යාර්ථයාට හැකිවේ. තව දුරටත් කියන්නේ නම් විශ්ව විද්‍යාලයට හැඩ  ගැසීමට කල් වෙලාව ලැබේ.

අනෙක නම් දැන් ගෙන ඒමට සැරසෙන Z –Score කතාවය. දන්නා හැටියට කතාව මෙසේය. පළමු සමාසික විභාගය පෙර පරිදිම පැවැත්වෙන නමුදු එය දෙපාර්තමේන්තු බෙදීම සදහා භාවිත නොවේ. එනම් පළමු සමාසිකයෙන් පසුව සිසුන්ට දෙපාර්තමේන්තු ඉල්ලුම් කරන්නට ලැබෙන්නේ තමන් ලැබූ උසස් පෙළ Z-Score එක මත පිහිටාය.

හිතන්න  බදුල්ල දිස්ත්‍රික්කයෙන්  සිංහල මාධ්‍යයෙන් උසස් පෙළ සදහා මුහුණ දී Island Rank එක 151 ලබා ගත් නමුදු විශ්ව විද්‍යාලයට පැමිණි පසුව පළමු සමාසික විභාගයෙන් 616 වෙනියා වන සිසුවා සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් මුහුණ දී 701 වන ස්ථානය ලබා පැමිණ විශ්ව විද්‍යාල විභාගය තුලින් 429 වැනි ස්ථානය ලබන සිසුවා යන දෙදෙනාම සැලකුවහොත් පවතින ක්‍රමය තුල දක්ෂයා වන්නේ Island Rank එක 701 ලබා ගත් සිසුවාය. නමුත් එය පවතින ක්‍රමය තුල මිස සැබෑ වම වෙයි කිවනොහැකිය.

නමුත් යෝජිත ක්‍රමය හරහා Island rank එක 151 වූ සිසුවාට යම් සාධාරණයක් කර තිබේ. පළමු සමාසිකය තුල සමහර විද්‍යාර්ථයන් හැසිරෙන අයුරු බැලුවහොත් ඔවුන් අධික පීඩනයකට ලක්ව ඇති බව දැක ගත හැකි මහා පොදු සාධකයකි. ( සියල්ල නොවන අතර අති බහුතරයක් එසේ වෙයි )
මෙම නව යෝජිත ක්‍රමයේ අරමුණු බැලුවහොත් මතුපිටින් ඒවා ඉතාම සාධනීය ලක්ෂණ පෙන්නුම් කරයි. මන්දයත් කිසිවෙකුට තමන් ගේ Z එක මත පිහිටා මොරටුවට නොපැමිණ වෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ගොස් තමන් කැමති උපාධිය ලබාගැනීමට හැකියාව ඇත. නැත්නම් දැන් පවතිනාවක් මෙන් කරන එකට කැමති වීමට පිරිසකට සිදු වේ.

නමුත් ඒ හරහා ඇති වෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ අපි ඇත්තටම උසස් පෙළ ලිව්වට පස්සේ ඉංජිනේරු කියලා මොනවද දන්නේ ?? ඇත්ත සිවිල් ඉංජිනේරු යන්න අහලා තියෙන්න පුළුවන් තව ඕනනම් විදුලි ඉංජිනේරුවෝ ගැන අහලා තියෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට අපි මොනවද දන්නේ ? ඇත්තටම මේවල උගන්වන්නේ මොනවද ? මේ කිසිදෙයක් නොදැන කොහොමද අපි වෙන විශ්ව විද්‍යාලයකට යනවද නැත්නම් ඔන්න ඔහේ මොරටුවටම යනවද කියලා තීරණය කරන්නේ. මේ ගැන නිවැරදි මැදිහත් වීමක් දෙන්න පුලුවන්නම් මෙය තරමක් පිළිගත හැකි විසදුමක් බව ලියුම්කරුගේ අදහසයි.

නමුත් මේ හරහා පිරිසක් මතු කරන්නට යෙදෙන A/L සිසුවාගේ මනසට ලොකු බරක් වැටේවි කියන අදහසටනම් කොහෙත්ම එකග නැත. සිසුවාට කැමති දේ කිරීමට නිදහස ඇත. අඩුම තරමේ Z එක මදි කියලා දන්නවානම් තමන් ආසයි කියලා හිතං ඉන්න දේට මොරටු අවොත් යන්න බැරි වෙයි කියලත් දන්නවානම් රැල්ලට නොයා වෙනත් රාජ්‍ය ඉංජිනේරු පීඨයකට යැමේ අවස්ථාව ඔවුන්ට හිමි වෙනවා.

සංවාදයට සුදානම් ;-)

පසු සටහන් : විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කීප දෙනෙක් හා මේ වසර  4 ක් පුරාවට මුණ ගැසුණ මගේම මිතුරන්ගේ කතා මෙයට පදනම විය. 

මිය යන්න සුදානම් ....

ජිවිතේ හරි පුදුමාකාරයි වෙලාවකට ,හිතාගන්නවත් බැරි තරමට සංකීර්ණයි. කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා සංකීර්ණ බව වැඩි වෙච්චි නිසා...