Monday, December 25, 2017

හීන 80 ක් මැද .... ( සමුගන්නට අවසරයි )





සරසවිය කියන්නේ ඇත්තටම වෙනම ලෝකයක් . අසීමිත නිදහසක් එක්ක හිතේ ලොකු වගකීමක්. එත් ඒ අසීමිත නිදහස දැන් ඉවරයි. දැන් ඉස්සරහට එන්නේ වගකීම. හිතට හරි දුකක් දැනෙනවා. ඒ යාලුවෝ , ඒ පරිසරය , ඒ අත්දැකීම් ආයෙත් කවදාවත් අපිට හම්බවෙයි ද නැද්ද කියන්න දන්නේ නෑ.

කාලය හරි ඉක්මනට ගෙවිලා ගිහින්. අවුරුදු 4ක සරසවි ජීවිතය ඉවරයි. විහිලු කරපු , කතා කරපු යාලුවෝ facebook එකෙන් විතරක් හම්බෙන යුගයක් තමයි ඉස්සරහට එන්නේ. හරිම පාළුවක් , හිතට මාරම දුකක් දැනෙන්නේ .

සරසවිය කියන්නේ ජිවිතේ කියන කුලකයට අංගසම වෙච්චි පුංචි කුලකයක් කියලයි වෙලාවකට හිතෙන්නේ. ජීවිතය කියන කුලකයට සරසවියෙන් ලැබුණු දායාද අමතක කරන්න නම් බෑ.

විශ්ව විද්‍යාල ජීවිතය ගත්තත් B3 එකේ ඉදන් chemical එක දක්වාම සොදුරු මතකයක්. අවුරුදු තුනකටත් වඩා ඉදපු chemical එක , ඒ මැද මිදුල , ඒ ගුරුවරු අපි නැතුවමත් මල්ලිලා නංගිලා එක්ක ඉස්සරහට යාවි. ඒ මැද මිදුලේ තිබුණ අඹ ගහ අපි නැති උනත් මල්ලිලා නංගිලාට රස අඹ දායාද කරයි. හැබැයි අපි නැති අඩුව ඒ හැමදේටම දැනෙයි. ඒ තරමටම අපි බැදිලා හිටියේ.

යාළුවෙලා , තරහ වෙලා , වලි දාගෙන, රණ්ඩු වෙලා හිටපු අපි එක එක්කෙනා තම තමන්ගේ ඉලක්ක වලට යාවි , සිහින වලට යාවි. අපි 80 දෙනාගේ පාරවල් 80 සමාන්තර පාරවල් 80 ක් නම් නෙවෙයි. ඉතින් අපි විටක මුණගැසෙයි , ඒ වගේම විටෙක වෙන් වෙලා යයි.

හිතුනු හිතුනු වෙලාවට cricket ගහන්න සෙට් උන උඹල වගේ හොද යාලුවෝ ටිකක් ආයෙත් හම්බ නොවේවි. 


දෙයක් දන්නේ නැති උනාම තේරෙන්න කියලා දීපු උබල වගේ බොක්කේ යාලුවෝ ආයෙත් මුණ නොගැසේවි. 


group project , assignment බරවල් කරට අරන් වචනයකින් වත් නොබැන්න ඔයාල වගේ යාලුවෝ ආයෙත් කවදාවත්ම මුණ ගැහෙන එකක් නෑ . 


ජිවිතේ ප්‍රශ්න ආපු වෙලාවට සහෝදරයෙක් වගේ ආදරෙන් ජිවිතේ කියලා දීපු ඔයා වගේ අය ආයෙත් මුණ නොගැසේවි. 


ඕනෑම අභියෝගයක් , event එකක් කරන්න සෙට් උන උඹලා වගේ සෙට් එකක් ආයේ මුණ නොගැසේවි.


බැනගෙන , රණ්ඩු කරන් එත් ආයෙමත් මුණ බලන් කතා කරන්න පුළුවන් සෙට් එකක් ආයෙත් හම්බ නොවේවි. අන්තිමටම උඹලා වගේ හිත හොද යාලුවෝ ටිකක් ජීවිතේටම නොලැබේවි.

දැන හෝ නොදැන බැන්න නම් , කෑ ගැහුවනම් , හිත් රිදෙව්වානම් ඒ හැමදේටම සමාවෙයන්. ආදරෙයි 


Saturday, November 4, 2017

මිය යන්න සුදානම් ....



ජිවිතේ හරි පුදුමාකාරයි වෙලාවකට ,හිතාගන්නවත් බැරි තරමට සංකීර්ණයි. කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා සංකීර්ණ බව වැඩි වෙච්චි නිසාම. assignments , Submission, mid , quiz, design අස්සේ හුස්ම ගන්නවා කියන එකත් අමතක වෙලා තියෙන්නේ.

අද මට කතා කරන්න හිතුනේ මරණය ගැන. අපි ජිවිතේ ගැන කතා කළා , ආදරේ ගැන කතා කළා , හැබැයි මරණය ගැන අපිට කතා කරන්න බැරි උනා. බැරි උනා නෙවෙයි අපි හරි අකමැති මාතෘකාවක් තමයි මරණය. හැබැයි අපි හැමෝම දන්නවා දවසක මේ හැමදේම අතෑරලා අපිට යන්න වෙනවා කියලා. 


                                ඔන්න ඔතනදි සැනසීමෙන් මැරෙන්න තියෙනවනම් ඒක තමයි ජිවිතයට වටින්නේ. අපි හම්බුකරපු වත්කම වත් , ගත්තු දේපල වත්, ඉගෙන ගත්ත උපාධි වත් එතකොට වැදගත් වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ අපි කරපු හොද දේවල් විතරයි. හොද දේවල් කරන්න සල්ලිම අවශ්‍ය නෑ. එකට ඕනා වෙන්නේ අපේ චේතනාව විතරයි. චේතනාව හොදනම් හොද දේවල් ඉබේටම කරන්න පුළුවන්.
“ජිවිතේ අපි හැමෝටම කාලයක් එනවා ආපහු හැරිලා බලද්දී සතුටු වෙන්න බැරි “ බුද්ධ දර්ශනය අනුවනම් එකට කියන්නේ කර්මය පඩිසන් දෙන කාලය කියලා.ඔන්න ඔය කාලේදී අපිට කරන කිසි දෙයක් හරි නොයන්න පුළුවන්. ඒවා පෙර ආත්මයෙන් අපි ගෙනාපුවත් වෙන්න පුළුවන් . හැබැයි මේ බවයේදී අපිට පුළුවන් හොද දේවල් කරන්න. එතකොට මතු අත්බවයකදී අපිට හොදින් ඉන්න පුළුවන්.
එත් අපි මොන දේ කලත් හිතන්නේ මේ ජිවිතේ සුවය ගැන විතරයි. හම්බකරගන්නෙ මේ ජීවිතේට විතරයි. අපි අතින් කොච්චර නම් පව් වෙනවා ඇත්ද ? අපි කොච්චර හිතාමතා වැරදි කරනවා ඇත්ද ?
මැරෙනවා කියලත් දන්නවනම් ඇයි අපි මෙච්චර මේවා පස්සෙම යන්නේ. මැරෙන මොහොතේදී අපේ හැමදේටම අනුපිළිවෙලක් හැදෙනවා. එතැනදී අපි කරපු පිං වලට වඩා පව් වැඩිනම් අපේ මරණ මොහොත වගේම මතු බවයත් නරක වෙන්න පුළුවන්.
තරුණ කාලේදී පිං කරමු. වයසට ගියාම හැරිලා බලද්දී අඩුම තරමේ සතුටුවෙන්න ඒ වගේ දෙයක් හරි තියෙනවනම් කොච්චර හොදද , ලෝකෙට පේන්න නෙවෙයි හිතට දැනෙන්න පිං කරමු . මාරයා එන වෙලාව අපි දන්නේ නෑ . හැබැයි එන වෙලාවට අපි යන්න සුදානම් නම් අපි මෙලොව පරලොව දෙකම ජය අරගෙන ඉවරයි.
ජිවිතේ කියන්නේ මරණය ගැනම හිතන එක නෙවෙයි. හැබැයි මරණය නෑ කියලා හිතලා වැඩ කරනවට වඩා ජිවිතේ හැමදේම යථාවාදීව දකින්න පුලුවන්නම් මේ පුංචි රට මීට වඩා ගොඩක් සුන්දර වේවි .

Thursday, October 19, 2017

සුබ උපන්දිනයක්



වෙලාව කියන දේ උනත් සාපේක්ෂ දෙයක්. වෙලාවකට හෙමින් යනවා වගේ දැනෙන වෙලාව සමහරක් වෙලාවට අල්ලන්නත් බැරි තරම් වේගෙන් අපෙන් ඈතට යනවා.සරසවියෙන් නික්මෙන්න තව හරියටම සති 8ක් වත් නෑ. ජීවිතේට මහා පුදුම දේවල් ගොඩක් උරුම කරලා දීපු අවුරුදු 4ක් නිමවෙන්න යන්නේ හරි ඉක්මනින්. මම අද කියන්න යන්නේ විශ්ව විද්‍යාල ජීවිතෙන් සමුගැනීම ගැන නෙවෙයි . එකට තව කල් තියෙනවනේ .

අද පුංචි සැමරුමක් තමයි කරන්න යන්නේ. හරියටම අද එහෙම නැත්නම් ඔක්තෝම්බර් 20 වෙනකොට විශ්ව විද්‍යාල ජිවිතේ ඇතුලේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු කියලා විෂය ක්ෂේත්‍රයකට ඇවිල්ලා අවුරුදු 3ක් වෙනවා. උපාධියේ අවුරුදු 4 ඇතුලේ වැඩියෙන්ම අපි හිටපු තැන තමයි අපේ මේ chemical පවුල. ළමයි 80 දෙනෙක් එක්ක එක එක්කෙනාගේ එක එක හීනත් එක්ක එක ගමනක් යන්න පටන් ගත්තට අද වෙද්දී ඒක 79 ක් දක්වා අඩු වෙලා. හිතට දුකයි අපේම සගයෙක්ව අතෑරලා අපිට යන්න වෙච්චි එක ගැන. එත් මොනවා කරන්නද ජිවිතේ කියන්නේ හිතන පතන දේම විතරක් නෙවෙයි නේ.
අවුරුදු 6 කට කිට්ටුවෙන බ්ලොග් ලෝකේ ඇතුලේ මම එක පාරක් වත් chemical එක ගැන ලියලා නැතුව ඇති. හැබැයි ඒ ලියන්න දෙයක් නැතුව නම් නෙවෙයි. ලියන්න දේවල් තොර බේරා ගන්න බැරුව තමයි. 

 chemical එක ගැන කතා කරද්දී හැමතිස්සෙම වගේ හිතට දැනෙන ඒ නිදහස. ඒ කිව්වේ මොරටුව කියන කාන්තාරයක් වගේ පරිසරයක් ඇතුලේ ලස්සනට ගස් කොලන් තියෙන හුස්ම ගන්න පුළුවන් නිදහස් පරිසරය ඇත්තටම chemical එකට මාරම සම්පතක්. මේ අවුරුදු 3 ට මේ chemical එක ඇතුළෙන්ම අපිට පුළුවන් උනා ගොඩක් දේවල් කරන්න. අභියෝග බාරගන්න කැමති කොල්ලෝ ටිකක් වගේම එකටම හරියන කෙල්ලෝ ටිකක් සෙට් වෙච්චි නිසා අපිට පුළුවන් උනා මේ අවුරුදු 3 දී අපේ යුතුකම ඉටු කරන්න. 





 අපි මුලින්ම ආපු ගමන් කලේ අපිට පහල batch එකේ අයව පිළිගන්න වැඩසටහන දෙපාර්තමේන්තුවක් විදියට එකතු වෙලා කරන එක. අනික් දෙපාර්තමේන්තු වගේම අපිත් පුළුවන් විදියට අපේම දෙයක් කළා. හැබැයි එතකොට අපි හම්බෙලා සති 3ක් වත් තිබුනේ නෑ. ඊට පස්සේ mid break එකට කලින් කරන්න බැරි වෙයි කියලා කට්ටිය කියපු පැදුරත් ලස්සනට කළා. හැබැයි chemical එකත් එක්ක වැස්සට තියෙන බැදීම නිසා අන්තිම දවසේ ටිකක් දුක්බර මතකයක් අපි හැමෝටම උරුම උණා. හැබැයි ඒ වැටුණ තැනින් අපි නැගිට්ටා. ඊට පස්සේ ඊලග semester එකේදී dep එකේ ඉන්න සියලුම ලෙවල් වල කට්ටිය එක්ක cricket, netball , football , volleyball tournament එකක් සංවිධානය කරන්නත් අපිට පුළුවන් උණා. හිටපු පොඩිම batch එක විදියට cricket තරගාවලිය දිනන්න ලැබීමත් ඇත්තටම සතුටක් උනා.



ඒ semester එකේම අන්තිමට අපි සමාජ සේවයක් කරන්න ලෑස්ති වෙනවා. අනුරාධපුරේ ඉස්කෝලෙකට පුංචි පුස්තකාලයක් හදලා දෙන ඒ පුංචි සිහිනය අපි යථාර්තයක් කරනවා හැබැයි ඒකට හිතුවට වඩා කල් යනවා. කොහොම හරි ඒ පුංචි හිත් වලට සතුටක් දෙන්න ලැබුන එකනම් ඇත්තටම සතුටක්. නේ
කාලයත් එක්ක ඊළගට අධ්‍යාපන වැඩ වලටත් යොමුවෙන අපේ කට්ටිය 5 වෙනි semester එක වෙද්දී out bound programme එකක් කරනවා දෙපාර්තමේන්තුවේ අධ්‍යයන අනධ්‍යයන සේරමත් එකතු කරගෙන. ඒ වගේම අපි අමතක කරන්නේ නෑ අපේ විශ්ව විද්‍යාලය ලගම තියෙන පුංචි ඉස්කෝලේ. අපිට පුළුවන් වෙනවා IET එකත් එක්ක එකතුවෙලා රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු ශිෂ්‍ය සංගමය විදියට ඒ ළමයින්ටත් 5 වසරට ඕනා කරන ගණිතය , ඉංග්‍රීසි , දෙමළ වගේ දේවල් කියලා දෙන්න.



 කොහොම හරි අපි එකී  මෙකී වැඩත් එක්ක අපේ යන පාරවල් හදාගන්නවා training period එකත් එක්ක. දෙපාර්තමේන්තුවේදී එක සමාන දේවල් ඉගෙන ගත්ත අපි වෙනස් වෙනස් ආයතන වල පුහුණුවට යනවා. සමහරු තෙල් සංස්ථාවේ වැඩට යන අතරේ තවත් සමහරු බහුජාතික සමාගම් වල වැඩට යනවා. අපේ පාරවල් අපි හදාගන්න උත්සාහ කරනවා.







 ඔහොම ඉදල අපි ආපහු එනවා අපේ දෙපාර්තමේන්තුවටම අන්තිම අවුරුද්ද ඉගෙන ගන්න. design , research අතරේ අපි අපිව හොයන්න ගන්නවා. ජාතික රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු සමුළුව රටටම දැනෙන විදියට කරන්නත් ඔය කිව්ව කොල්ලෝ කෙල්ලන්ට පුළුවන් වෙනවා.




ගොඩක් බාහිර වැඩ අපි කරන්න ඇති. ඒ අතරේ අපි ඉගෙන ගන්නත් ඇති. ට්‍රිප් ගොඩාරියක් යන්න ඇති. ජිවිතේ මිනිස්සුන්ව අදුරගන්න ඇති.ඕන තරම් බැන කියාගන්න ඇති.විහිළු තහළු කරන්න ඇති , ඇස් රතු කරගන්න ඇති එත් අපි එක පවුලක් ආදරෙන් බැදුන CHEM13 එකම එක පවුලක්.


තව සති 8 කට වඩා අපිට එකට ඉන්න බැරි වෙයි. එකිනෙකාගේ ජිවිත ගමන් මග වෙනස්. අපි ආපහු හම්බවෙයි. හැබැයි හැමෝම එකම වෙලාවක හම්බවෙන්න පුළුවන් වෙයිද කියන්න දන්නේ නෑ. ඉතින් මේ ලෝකේ හරි පුංචියි. අපි ආපහු මුණ ගැහෙයි , එතකං සුබ උපන්දිනයක් CHEM13.

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...