Wednesday, July 12, 2017

පරාදීසියක්දෝ මේ සෙම්බුවත්ත...



ඔන්න ඉතින් ලැබුන පුංචි නිවාඩුවෙන් ගියපු චාරිකාවක් ගැනයි අද අපි කියන්න යන්නේ. චාරිකාව යන්න කලින් කියවපු බ්ලොග් පොස්ට් කිහිපයක අඩුපාඩුත් , අදාල ගමනාන්තයේ පසු ගිය කාලයත් එක්ක සිද්ධ වෙච්ච වෙනස් කිරීම් ත් එක්කම වගේ අපි කොහොමද සෙම්බුවත්තට අපේ චාරිකාව ගියේ කියලයි කියන්න යන්නේ .


ඉතින් විශ්ව විද්‍යාලයේ  Internship කාලේදී අපි 4-5 දෙනෙක්  මුලින්ම ශ්‍රීලංකා - ඕස්ට්‍රේලියා match එකක් බලන්න යන්න කතා කරගෙන අන්තිමට ticket හොයාගන්න බැරුව , කම්මැලි කමට වෙන කරන්න දේකුත් නැතුව සංචාරය කරන්න පටන් ගත්ත චාරිකා සටහනේ 6 වෙනි පරිච්ජේදය තමයි සෙම්බුවත්ත කියන්නේ. 
අම්බුළුවාව , මඩොල්සිම ඔය එක එක ගොඩක් තැන් වල යමු කියලා අදහස් ආවට හැමදාමත් වගේ අන්තිමට යන්න තීරණය උණේ හිතපු නැති පැත්තකට , අපි එකට කියමු සෙම්බුවත්ත කියලා .
සංචාරය පටන් ගත්තේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදන්, අපි 5 දෙනෙක් විශ්වවිද්‍යාලය ගාවින් ගමන් ආරම්භ කළා. උදේ 5 ට පිටත් උන අපි කොහොම හරි කොළඹ ට එද්දී 5.40 ට විතර ඇති. ඒ වෙද්දී අපේ 6 වෙනි සගයත් කොටුවට ඇවිත් හිටියා. අවාසනාවට ටිකක් සෙනග. ඉතින් අපි හිටගෙනම ගමන පිටත් වෙන්න පටන් ගත්තා. ඔහොම යද්දී 7 වෙනි ගමන් සගයා එකතු උණේ වේයන්ගොඩදී. කොච්චියෙදීම උදේට කාපු අපි නුවරට යද්දී 8.46 ට විතර ඇති. අන්තිම සාමාජිකයා ඔන්න ඔතනදි තමයි අපිට එකතු උණේ කතා කරගත්ත විදියට. 
හෙමිට හෙමිට කට්ටිය වත්තේගම බස් එක හොයාගෙන නුවර බස් නැවතුම්පලට යන අතරේ තව කීපදෙනෙක් ෆූඩ්සිටියක්  හොයාගෙන ගියේ අපිට රෑට කන්න අවශ්‍ය කෑම ජාතියි පහුවෙනිදා උදේටයි දවල්ටයි අවශ්‍ය කරන කෑම ජාතියි අරන් එන්න. ඔය අතරේ අපි සෙම්බුවත්ත පාලන අධිකාරියට දුරකථන ඇමතුමක් දීලා අපගේ පැමිණීම සනාථ කළා. මොකද නැත්නම් අපිට අද රෑට නවතින්න වෙන්නේ නෑ . ඊට පස්සේ 10 . 20 ට විතර අපි වත්තේගම බස් එකට( වත්තෙගමට බස් ඕන තරම් තියෙනවා ) නැගල වත්තේගමින් දවල්ට කන්න කෑම පාර්සල් මිලදී ගත්තා. 11.15 ට තිබුණ ඇල්කඩුව බස් එකට ගොඩ වෙලා අපි ඇල්කඩුව බලා යන්න පිටත් උනා. පැයකට සැරයක් වගේ බස් තියෙනවා කියලයි අපිට කොන්දොස්තර සහෝදරයා නම් කිව්වේ. ඉතින් හෙමිට හෙමිට බස් එක ඇල්කඩුවට ලංවෙලා තියෙද්දී අපි නින්දෙන් නැගිට්ටා. ඇල්කඩුවෙ ඉදන් අපේ ගමනාන්තය වෙච්චි සෙම්බුවත්තට 7km තියෙනවා කියලා තමයි සදහන් උණේ.ඉතින් ත්‍රීවීල් දෙකක් කතා කරගෙන අපි අපේ ගමනාන්තයට එද්දී 12.45 ට විතර ඇති. ( ත්‍රීවීල් එකක යනවනම් මේ දවස් වල සාමාන්‍ය ගාස්තුව 500 ක් විතර ) 
මේ තියෙන්නේ කාර්යාලය ගාව දාල තිබ්බ දැන්වීම් ටික සල්ලි ගෙවන්න තිබ්බේ ඔන්න ඔතනදි තමයි. 

අපිට විකල්ප දෙකක් දුන්න ඒගොල්ලෝ නවතින්න . එකක් තමයි බංගලාවේ නවතින එක. එක තිබුනේ කාර්යාලය ගාවමයි. අනික් එක තමයි එයාලා විසින් හදපු ( හැබැයි ස්වභාවිකත්වය රැකෙන විදියට ) huts වල ඉන්න එක. මේවා නම් කවර් වෙලා නෑ.හැබැයි තිබුනේ වැව ගාවමයි. අපි කිසිම කතාවක් නැතුව තෝරාගත්තේ දෙවෙනි විකල්පය. හැබැයි කාර්යාලයේ හිටපු ඒ අයියා නම් කිව්වේ ඔහොම කැම්පස් කට්ටියක් ඇවිත් රෑ 7.30 වෙද්දීම සීතලයි කියලා ආපහු බංගලාවට මාරු උනා කියලා , ඒ වගේම ආයෙත් නම් එහෙම මාරු කරන්නෙත් නෑ කියලා. එත් අපි මොකටද සැලෙන්නේ ජර්සි තියෙනවනම් පොරවන රෙදි තියෙනවනම් අපි ගාව , එයාලා මෙට්ටත් දෙනවනම් කියලා හිතලා අපි දෙවැනි විකල්පය සනාථ කළා. අහ්හ් කියන්න ඕනා පරණ බ්ලොග් සටහන් කියවද්දී දැක්කේ එක්කෙනෙක්ට රු .500 ක් වගේ යන්නේ කියලා නවතින්න. එක එහෙම නෙවෙයි බංගලාවේ නවතිනවානම් දවසකට 12000 ක් වෙනවා උපරිම 10 දෙනෙක් ට ඒ වගේම summer huts වල නවතිනවානම් 10000 ක් වෙනවා 10 දෙනෙක්ට එකෙත් ඉන්න පුළුවන්. 


















එහෙම නැතුව ඇවිල්ලා බලලා නාල යනවනම් දේශීය සංචාරකයෙක්ට වෙන්නේ 200 ක් වගේ. 



අපි දවල්ට ගෙනාපු බත් එහෙම කාල , වැව වටේ පොඩ්ඩක් ඇවිදලා ආපහු කාර්යාලය පැත්තට ( 2 km ) විතර ආවේ . අපේ ID කාර්ඩ් තියලා සල්ලි බැඳලා යන්න. ඔවුන් කිව්වා විදියට මේක ඇල්කඩුව වැවිලි සමාගම යටතේ පාලනය වෙනවා උනත් මෙය රජය සතු ආයතනයක්. නමුත් පෞද්ගලිකව ක්‍රියාත්මක වන බෝට්ටු සේවයක්ද වැවේ තිබ්බා. එකනම් එක්කෙනෙක්ට 250 ක් වගේ උණේ.
අපි කීපදෙනෙක් ගිහිල්ල සල්ලි ගෙවල එද්දී අනිත් කීප දෙනා වෙවලනවා. බැලින්නම් එයාලා එතන තිබ්බ පූල් එකෙන් නාල. අහ්හ් කියන්න බැරි උනානේ වැවේ නම් නාන්න දෙන්නේ නෑ පුතේ. මොකද අපේ මිනිස්සු ගැන අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ. ඒ නිසා ස්වභාවිකව නිරන්තරයෙන් වතුර ගලාගෙන යන විදියට හදපු පූල් එකක් තියෙනවා නා ගන්න. එක කණ්ඩායමකට සාමාන්‍යයෙන් පැය භාගයක් එකේ ඉන්න පුළුවන් කියලයි ගහලා තිබුනේ නම්. කොහොමත් ඒ සීතලේ පැය බාගයක් නම් කව්රුවත් ඉන්නේ නැතුව ඇති . වැවේ ගැඹුර අඩි 35 ක් කියලයි සදහන් කරලා තිබුනේ . මාළු විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ නිවහන බවට මේ සුන්දර වැව පත්කරගෙන තිබුනා.


ලංකාවේ  පාරාදීසයක් ඇත්නම් ඒ සෙම්බුවත්ත කියලා කිව්වට කව්රුත් විරුද්ද වෙන එකක් නෑ. ඒ තරමටම ඒක සිත මුසපත් කරන දර්ශන සමුදායක තෝතැන්නක්. අහ්හ් හවස 6න් පස්සේ තමයි නවතින අයට පහසුකම් සලසන්නේ. එතකන් අපිටත් පුළුවන් සාමන්‍ය ඇවිල්ලා නරඹල යන අය වගේ ඉන්න. අපි එතකන් උඩ හදලා තිබුණ hut එකකට වෙලා ගෙනාපු card pack වලින් ප්‍රයෝජනය ගත්තා. හවස 6න් පස්සේ ඒ රාජධානිය අපේ උනා. අපි උයන්න අරන් ගියපු බඩු සේරම කුස්සියෙන් තියලා තිබ්බ . අහ්හ් තව එයාලා ගානේ අපිට දෙනවා කෝකියෙක් වත්. එයා තමයි අපිට ඕනා විදියට කෑම හදලා දෙන්නේ. ඉතින් එයාගේ නම තමයි ලෙච්චමී. ලෙච්චමී අයියා අපිට කෑම උයලා දෙනකම් අපි පරිසරේ සුන්දරත්වය විදින්න ගියා. 




ඇත්තටම ජිවිතේ ඔබ එක් වරක් හෝ යායුතු තැනක් තමයි සෙම්බුවත්ත කියන්නේ. අපි ගියපු සෙට් එක කොහොමත් අඩුවෙන් කන එවුන් ටිකක් හිටියේ, :P එක නිසා අපි ඒ ගමන්ම පහලට ගියේ කඩේකින් රොටි ටිකකුත් හදාගන්න පිටි ටිකක් ගේන්න . අවාසනාවට පිටි ඉවර වෙලා, අපි රෑ 12 ට කන්න කියලා හිතලා ඉතින් පාන් ගෙනාවලු. 
අපි එද්දී ලෙච්චමී අයියා ෆ්‍රයිඩ් රයිස් එක හදලත් ඉවරයි ලු. ආගිය කතා , ජවිත කතා , ආදර කතා , එකී මෙකි හැම කතාවක්ම කියෝ කියෝ ඉදපු අපි කන්න ලෑස්ති වෙද්දී 8.30 ට විතර ඇති. කෑම නම් නියමෙට හදලා තිබුණ. පොඩ්ඩක් විතර සොසේජස් වලට මිරිස් වැඩි කියලා කට්ටිය නොකිව්වමත් නෙවෙයි. කොහොම හරි කාල ඉවර උනාට පස්සේ අපි පහල තිබ්බ ගහකින් කඩා ගත්ත ජම්බෝල ගෙඩි 3 කුත් ඉවර කරලම දැම්ම. 


අයියට කියලා සම්බෝලයකුත් හදාගෙන තියාගත්තේ රෑට ගෙනාපු පාන් ටිකටත් වැඩේ දෙන්නම හිතාගෙන. මොනවා උනත් මුන් නම් මහා බඩජාරියෝ ටිකක් කියලා නොහිත ඉන්නනම් එයාට හේතුවක් නොතිබෙන්න ඇති. ඒ තරමට අපි කාපු එක තමා කලේ.
මෙට්ට ටිකයි කොට්ට ටිකයි අරගෙන අපි හෙමිට හෙමිට වැව අසලම තිබුණ hut එකට ගියා. ඔන්න දැන් තමයි ප්‍රශ්නේ අපේ සමහර එවුන් ජර්සි ගෙනත් නෑ , ඒ වගේම සමහර එවුන් පොරෝනයක් ගෙන්නල්ලත් නෑ . හරි සන්තෝසයි මොනවා කරන්නද සීතලේ මැරෙන්න දෙන්න බෑ නේ . අපි බෙදා හදාගෙන සීතල විද දරා ගත්ත .

card සෙල්ලම් කරලා 11 ට විතර පාන් ටිකටත් වැඩේ දීපු අපි විද්වත් සාකච්චා වටය පටන් ගත්තේ නින්ද එනකම්. කොහොම කොහොම හරි එකා දෙන්නා නිදි දෙව්දුව හොයාගෙන යද්දී , මටයි තව එකෙක්ටයි නින්ද යන්න පටන් ගනිද්දී 12 ත් පහුවෙලා . අහ්හ් කියන්න බැරි උනා . එයාලා අපිට විදුලිය ලබා දෙනවා හරියටම රාත්‍රී 12 වෙනකම්. 12 වෙද්දී විදුලිය නැති උනා. 
වෙනස් වූ කාලයට බොහෝ දේ කල හැකිය . ඉතින් ජිවිතේ මතකයන් මේ විදියට ලැබෙන්නත් වෙනස් වූ කාලය හේතු වෙනවා. ඒ මතකයන් එක්ක අපි නින්දට ගියේ පහුවෙනිදට යන්න තියෙන හයික් එකත් මතක් කරගෙනයි. උදේ 6 විතර වෙද්දී අපි නැගිට්ටා. හැබැයි පට්ට සීතලයි. මොනවා කරන්නද , එහෙම කියලා . ලෙච්චමී අයියට කියලා උදේට වගේම දවල්ටත් කෑම ටික හදාගත්තා . ඒ අතරතුර මායි තව තුන් දෙනෙකුයි ජම්බෝල ගහට සමුදෙන්න ඒ පැත්තට ගියා . තව කීප දෙනෙක් පාන් ගෙන්න ගියා. පාන් ගෙන්න ගියපු උන් නම් පාන් හදාගෙනම ආවද කොහෙද , ඒ නිසා උදේට පාන් හොයනවනම් 8 ට විතර පහලට ගියා නම් හරි . ඊට කලින් ගිහින් නම් තේරුමක් නෑ . 


උදේට කාල , දවල්ටත් පාර්සල් බැදගෙන බෑග් එහෙම ලෑස්ති කරලා අපි ගියා පොඩි හයික් එකකට. වෙලාව 9 ට විතර ඇති , හැබැයි අපි 10 වෙද්දී පිටත් වෙන්නත් ඕනා කාර්යාලයීය නීති රීති අනුව . උඩටම නැගගෙන යද්දී අධික කූඩලු ප්‍රහාරය අපිව පැරද්දුව කිව්වොත් නිවැරදියි. වෙලාව ප්‍රශ්නෙයි කූඩලු ප්‍රශ්නෙයි අපිව ගියාට වැඩිය ඉක්මනට පහලට ගෙනාව. අපේ එකෙක්ගේ ජිවිතේ සන්ධිස්ථානයක් විදියටත් මේ කූඩලු ප්‍රහාරය කියන්න පුළුවන් . මොකද උගේ ජීවිතේටම ඔය කූඩල්ලෙක් කෑවමයි. 


ඉතින් ඉක්මනට පහලට ඇවිත් ආපහු සීත දිය දහරා එක්ක ගැටිලා අපි සුන්දර පරාදීසියට සමුදෙන්න සැරසුනා. අපිට වචනයකින් හරි සහයෝගය දීපු හැමෝටම ස්තුති කරලා අපි ඉතින් එන්න ආවා . අහ්හ් තව දෙයක් අමතක උනා සෙම්බුවත්ත ඉදන් බස් එකක් තියෙනවා උදේ 7 ටයි දවල් 10.45 ටයි ඇල්කඩුවට. අවාසනාවට අපිට පෙනී පෙනී බස් එක ගියා. ආපහු ත්‍රීවීල් එකක් සෙට් උන නිසා ( මේ පාරනම් 300 යි ) අපි කීප දෙනෙක් එකේ ආවට , ඉතුරු අයට ත්‍රීවීල් එකක් සෙට් කරගන්න බැරි උන නිසා අර 7 km ම පයින් එන්න වෙලා තිබුනා ( විදින්න දුන් ජ්විතේ අරන් විදවන්නේ ඇයි මේ සසර පුරා ). උන්ට නම් ඒක ආතල් කියලා කිව්වා. අපි ඉතින් උන්ට හිත හදාගන්න ඉඩ දුන්නා. 


ඇල්කඩුවෙන් කෙලින්ම නුවරට බස් එකක් සෙට් උන නිසාම අපි 2-3 වගේ වෙද්දී නුවරට ආවා. නුවරදී දුම්රියකින් ආයෙත් අපි කොටුවට ඇවිල්ලා විසිරිලා ගියාලු . ජිවිතේ කියන සමරු සටහන් පොතේ අලුත් පිටුවක් ලිව්ව කිව්වොත් නිවැරදි ,කියන්න රස කතා ගොඩක් තියෙනවා . හෙමිට ඒ ටිකත් කියන්නම් . මේ ටික දැම්මේ සෙම්බුවත්තේ යන්න බලාපොරොත්තු වෙන කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. 
අපිට ඔය ගමනේදී අමුතු දෙයක් නිරීක්ෂණය උනා. එකක් තමයි මුස්ලිම් රටවලින් විශාල පිරිසක් මේකට එනවා කියලා . අපිත් එක්ක කතා කරපු සේවකයෝත් කිව්වේ අරාබියෙන් විශාල වශයෙන් සංචාරකයෝ එනවා කියලත් , එකට හේතුව විදියට අල්ලා දෙවියන් විසින් මෙහි ශුද්ධ වූ ජලයෙන් මුණ සෝදාගත් බවත් කියලයි. එත් ඇත්ත මොකක් උනත් ඒ හරහා අධික විදේශ විනිමයක් අපේ රටට ලැබෙනවානම් අපි ලාංකිකයන් විදියට සතුටු විය යුතුයි. 
තව එකක් තමයි ලස්සන පරිසරය නිසා විවාහක යුවල වල් ඔවුන්ගේ ජායාරූප ගැනිමටත් මෙතන පාවිච්චි කරනවා . ඇත්තටම විශේෂයෙන් ස්තුති කරන්න ඕනා වතු අධිකාරී රැඩ්ලි මහතා තමයි මෙච්චර ලස්සනට මෙහෙම දෙයක් හදන්න පිටුපස හිටපු මොළ කරු වෙලා තියෙන්නේ . 2005 දී අරඹා 2017 වෙනකොට එක ගොඩක් ලස්සනට සංචාරකයින් ගෙන්න ගන්න තැනක් වෙලා , එන්න නිදහසේ විදින්න ඒ සුන්දරත්වය , කාටවත් කරදරයක් නැති විදියට හැසිරෙන්න . කුණු කසල නිවැරදි තැන්වල දාල යන්න .  

11 comments:

  1. යන්න ආසා හිතුනා,බොහොම ස්තූතියි විස්තර කිව්වට

    ReplyDelete
    Replies
    1. ගිහින් ඇවිත් අපිටත් කියන්න

      Delete
  2. ඔන්න මමත් සේම්බු වත්ත් කියෙවුවා නැවත එන්නම්

    ReplyDelete
    Replies
    1. හරි නැවත එන්නකෝ ;-)

      Delete
  3. යන්න ඕනෙ තාමත් නොගිය තැනක්

    ReplyDelete
    Replies
    1. ගිහින් එන්නකෝ සුන්දරත්වය විදලම

      Delete
  4. ලිපිය කියෙව්වම යන්නමයි හිත. පින්තූර ටිකත් මරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පින්තුර සේරම ගත්තේ සහ සංස්කරණය කලේ මගේ යාලුවෙක්

      Delete